ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් විනාශ වන දැවැන්ත මුදල් කන්දරාව පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය. පසුගිය 21 වැනිදා දඹුල්ලේ පැවති පිහිනුම් තරගාවලියකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ 2025 වසරේදී පමණක් මෙරටින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් බිලියන 110ක් වන බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා 2025 අයවැයෙන් වෙන් කර තිබූ මුළු මුදල රුපියල් බිලියන 147ක් වන අතර, එයට ආසන්න මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විනාශ වී තිබීම බරපතළ තත්ත්වයක් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම මුදල් රටේ සංවර්ධනයට යොදා නොගෙන ජනතාව සහ රටේ අනාගතය විනාශ කිරීම සඳහා යොදවා ඇති බවත්, මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරුවන් බේරා ගැනීමට දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රජය සහ ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා උපරිම ශක්තිය යොදවන පසුබිමක, සමාජයේ සහයෝගය ද ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.














