දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ විශේෂ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (22) දිනය තුළ පමණක් පුද්ගලයින් 958 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම අරමුණු කරගනිමින් දියත් කළ මෙම මෙහෙයුම යටතේ පොලීසිය විසින් වැටලීම් 968ක් සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, තවත් සැකකරුවන් පස් දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
මෙම මෙහෙයුමේ සුවිශේෂී පියවරක් ලෙස, එක් සැකකරුවෙකු විසින් උපයාගත් දේපළ සහ මුදල් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි. අපරාධකරුවන් සතු වත්කම් රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මෙම පියවර ගෙන තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දියත් කෙරෙන මෙම විශේෂ මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.














