ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ විධායක කමිටු සවාරය එළැඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වූයේ, මෙම ජාත්‍යන්තර මට්ටමේ පුණ්‍ය මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටයි. 1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද මෙම සංවිධානයේ දියමන්ති ජයන්තිය සැමරීම සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට මෙන්ම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50 ක නියෝජිතයන් 600 කට අධික පිරිසකට ආරාධනා කිරීමට අපේක්ෂිතය.
සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 28 වනදා කොළඹ නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වන ලෝක ශාන්ති පූජා සහ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් ආගමික වතාවත් මාලාවක් අනුරාධපුරය හා මහනුවර නගර ආශ්‍රිතව පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකයට විදහා දැක්වීමටත්, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසකගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර, විදේශීය නියෝජිතයන් වෙනුවෙන් ගුවන්තොටුපළේදී විශේෂ පහසුකම් සැලසීමට ද නියමිතය.














