ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීම සහ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය ලබන ජුනි මස 25 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා අද (26) නියෝග කළේය. සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තුසිත හල්ලොලුව මහතා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර නාරාහේන්පිට ප්‍රදේශයේදී ඔහුගේ වාහනයට වෙඩි තබා එහි තිබූ ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට සහය නොදැක්වීමේ චෝදනාව ද මොවුන්ට එරෙහිව එල්ල වී තිබේ. විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළව සැකකරු විසින් මකා දමා ඇති දුරකථන වාර්තා ලබා ගැනීම සඳහා මෙටා (Meta) සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවයි. මේ වන විට ඇප මත මුදාහැර සිටින සැකකරුවන්ට අදාළ එම විමර්ශන වාර්තා මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය මෙහිදී නියම කළේය.














