කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, වරාය වෘත්තීය සමිති නියෝජිතයන් තිදෙනෙකුගෙන් පසුගියදා (25) ප්‍රශ්න කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එම නියෝජිතයන් තිදෙනා කරුණු රැසක් අනාවරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාව මීට පෙර රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් දින තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ විමර්ශන කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කර වාර්තාව පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතය.














