බේරුවල, මග්ගොන ප්‍රදේශයේ නිවසක් බිඳීමට පැමිණි බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ. මග්ගොන, ඉදිරිලිගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් බිඳීම සඳහා පසුගිය 24 වනදා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙම පුද්ගලයා අල්ලා ගෙන පහර දී ඇති අතර, පසුව පොලිසියට භාර දී ඇත.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති අතර, සැකකරු සන්තකයේ තිබී සොරාගත් ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














