අධි-සකස් කළ ආහාර (Ultra-processed foods – UPFs) යනු හුදෙක් ආහාර වර්ග පමණක් නොව, ඒවා දුම්වැටි හා සමාන ඇබ්බැහි කරවන සුළු ද්‍රව්‍ය ලෙස සලකා නියාමනය කළ යුතු බව ඇමෙරිකානු විශ්වවිද්‍යාල තුනක පර්යේෂකයන් විසින් සිදුකළ නවතම වාර්තාවක දැක්වේ. හාර්වර්ඩ්, මිචිගන් සහ ඩියුක් යන විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම ආහාර මිනිස් සිරුරේ ‘ප්‍රතිලාභී මාර්ග’ (Reward pathways) වේගයෙන් උත්තේජනය කරමින් ඇබ්බැහියක් ඇති කිරීමට සමත් වන පරිදි කර්මාන්තශාලා තුළ සකස් කර ඇති බවයි.
පැණිබීම, පැකට් කළ කෙටි ආහාර, බිස්කට් සහ ක්ෂණික ආහාර වැනි UPFs වර්ගවල අඩංගු කෘතිම වර්ණක, රසකාරක සහ රසායනික ද්‍රව්‍ය මගින් ස්ථුලතාවය, පිළිකා, දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග ඇති වීමේ දැඩි අවදානමක් පවතී. පර්යේෂකයන් පවසන පරිදි, මෙම නිෂ්පාදනවල සඳහන් වන “මේදය අඩු” (Low fat) හෝ “සීනි රහිත” (Sugar free) වැනි වෙළඳ ප්‍රචාරණ පාඨ හුදෙක් පාරිභෝගිකයා නොමඟ යවන “සෞඛ්‍ය සේදීමක්” (Health washing) වන අතර, එය 1950 දශකයේ දුම්වැටි සමාගම් සිය නිෂ්පාදන ආරක්ෂිත බව පෙන්වීමට කළ ප්‍රයත්නයට සමාන වේ.
මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඈෂ්ලි ගෙයාර්හාර්ට් පවසන්නේ දුම්වැටිවලට ඇබ්බැහි වූ රෝගීන් පවා පසුව මෙම අධි-සකස් කළ ආහාරවලට මෙන්ම පැණිබීම වර්ගවලට ද එක හා සමානව ඇබ්බැහි වන බවයි. මිනිස් පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වුවද, හානිකර UPFs හඳුනාගෙන ඒවාට වෙළඳ ප්‍රචාරණ සීමා පැනවීම සහ කර්මාන්තකරුවන් වගකීම් සහගත කිරීමට රජයන් මැදිහත් විය යුතු බව මෙම වාර්තාව නිර්දේශ කරයි. අප්‍රිකානු සහ ආසියානු රටවල පවතින දුර්වල නියාමන පද්ධති හරහා මෙම හානිකර ආහාර ජනප්‍රිය කිරීම සෞඛ්‍ය පද්ධති බිඳ වැටීමට ද හේතු විය හැක.















