මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ නොසන්සුන්තාවය සැලකිල්ලට ගනිමින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව විශේෂ හදිසි ප්‍රතිචාර ඒකකයක් පිහිටුවා ඇත. එම කලාපයේ සේවය කරන සහ පදිංචිව සිටින මිලියනයකට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව රජයේ ප්‍රමුඛතම වගකීමක් ලෙස හඳුනාගෙන ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ. මෙම ඒකකය මගින් මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම වත්මන් තත්ත්වයෙන් පීඩාවට පත් මෙරට වෙසෙන විදේශිකයන්ට ද අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කෙරේ.
මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සති අන්තය ද ඇතුළුව සෑම දිනකම පෙරවරු 8:00 සිට පස්වරු 8:00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා පහත සඳහන් සබඳතා මාර්ග විවෘතව පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර ඒකකය +94117445641 හෝ +94112207250 යන අංක මගින් සම්බන්ධ කර ගත හැකි අතර පණිවුඩ හුවමාරුව සඳහා +940777189552 අංකයට WhatsApp පණිවුඩයක් යොමු කළ හැකිය. මීට අමතරව [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය මගින් ද විමසීම් සිදු කළ හැකිය.
කොන්සියුලර් කටයුතු පිළිබඳ ගැටලු පවතී නම් +94742595546 අංකයත්, විදේශ රැකියා සම්බන්ධ ගැටලු සඳහා +94719802822 අංකයත් භාවිත කළ හැකි අතර ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ද විවෘතව පවතී. පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ යම් සහයක් හෝ තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය පවුල්වල සාමාජිකයන්ට හෝ පුද්ගලයන්ට මෙම මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙස රජය දැනුම් දෙයි.
















