ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ පාකිස්තානය තුළ හටගෙන ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන වැසියන්ට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය මාර්තු 01 වැනිදා කරච්චි නුවර පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදීමට උත්සාහ කිරීමයි.
ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් සිය ගණනක විරෝධතාකරුවන් පිරිසක් කරච්චි කොන්සල් කාර්යාලයේ ආරක්ෂක වැටවල් බිඳ දමමින් ඇතුළු වීමට උත්සාහ කර ඇත. එහිදී ඇති වූ ගැටුම් හමුවේ කොන්සල් කාර්යාලයේ ආරක්ෂාවට සිටි ඇමෙරිකානු මැරීන් සෙබළුන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 10ත් 17ත් අතර පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
දැනට පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ඉස්ලාමාබාද්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම කරච්චි, ලාහෝර් සහ පෙෂාවර්හි පිහිටි කොන්සල් කාර්යාල ද තාවකාලිකව වසා දමා තිබේ. ඒ අනුව මාර්තු 06 වැනිදා (සිකුරාදා) දක්වා සියලුම වීසා සම්මුඛ පරීක්ෂණ සහ වීසා නිකුත් කිරීම් අත්හිටුවා ඇති අතර, දැනට නියමිතව තිබූ දින වකවානු පසුව දැනුම් දෙන බව තානාපති කාර්යාලය පවසයි.
පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ හමුදා ප්‍රධානියා ට්‍රම්ප් පරිපාලනය සමඟ සමීප සබඳතාවක් පැවැත්වුවද, එරට ජනතාව අතර පවතින දැඩි ඇමෙරිකානු විරෝධය පාලනය කිරීම රජයට දැඩි අභියෝගයක් වී තිබේ. මෙම වීසා තහනම ඉරාන ගැටුම හමුවේ ඇමෙරිකාව විසින් පකිස්තානයට ලබා දුන් රාජ්‍ය තාන්ත්‍රික අනතුරු ඇඟවීමක් ලෙස ද සැලකේ.














