දකුණු පළාතේ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන විවිධ අභියෝග හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුවට එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ප්‍රාදේශීය මට්ටමින් මතුවන බාධා ඉවත් කරමින් නව අපනයන අවස්ථා ගවේෂණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවයි.
මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහභාගී වූ අපනයනකරුවන්ට තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි. සාකච්ඡා වඩාත් ඵලදායී කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය විසින් මීට පෙර රැස්කරගන්නා ලද ගැටලු සහ යෝජනා ද මෙහිදී විමර්ශනයට ලක් කෙරිණි. ප්‍රාදේශීය අපනයන විෂමතා අවම කරමින් සමස්ත අපනයන කාර්යසාධනය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. දේශීය නිෂ්පාදකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය මඟපෙන්වීම් ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බව ද මෙහිදී ප්‍රකාශ විය.














