ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය, 2026 වසර සඳහා සිය වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කය 4.5% – 5% දක්වා පහත හෙළා තිබේ. මෙය 1991 වසරෙන් පසු චීනය විසින් ප්‍රකාශයට පත් කරන ලද අඩුම ආර්ථික වර්ධන ඉලක්කය ලෙස වාර්තා වේ. චීන ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති ලී ක්වැංගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘සෙෂන්ස් දෙක’ (Two Sessions) දේශපාලන සමුළුවේදී මෙම තීරණය නිවේදනය කෙරිණි.
චීනය මෙම තීරණයට එළඹ ඇත්තේ එරට මුහුණ දී සිටින අභ්‍යන්තර සහ බාහිර අභියෝග රැසක් හේතුවෙනි. ජනගහනය හැකිලීම, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සහ ගෝලීය වෙළඳ ආතතීන් මීට ප්‍රධාන හේතු වී ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග ඉරාන යුද්ධය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති අර්බුදය චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.














