කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රුබායා (Rubaya) කොල්ටන් පතලක සිදුවූ දරුණු නායයාමකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. අධික වර්ෂාව හේතුවෙන් මෙම ස්වභාවික ව්‍යසනය සිදුව ඇති අතර, මියගිය පිරිස අතර කුඩා ළමුන් 70 දෙනෙකු පමණ සිටින බව කොංගෝ පතල් අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.
උතුරු කිවු (North Kivu) පළාතේ අගනුවර වන ගෝමා (Goma) නගරයේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත තුවාල ලැබූවන් ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් පස් කඳුවලට යටවී ඇතැයි සැක කෙරේ. ස්මාර්ට් ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදනය සඳහා යොදාගන්නා “කොල්ටන්” ඛනිජය ලබාගැනීම සඳහා මෙම පතල්වල බොහෝ පිරිසක් අනාරක්ෂිත ලෙස සේවය කරන අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහන සේවා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබේ.














