ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳව මෙතෙක් සිදුකර තිබූ විද්‍යාත්මක ඇස්තමේන්තු වැරදි සහගත බවත්, සැබෑ මුහුදු මට්ටම මීට පෙර සිතා සිටි ප්‍රමාණයට වඩා සෙන්ටිමීටර 30කින් පමණ ඉහළ අගයක පවතින බවත් නවතම පර්යේෂණයක් හෙළි කර තිබේ. ‘Nature’ විද්‍යා සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු මට්ටම පෙර සිතුවාට වඩා සෙන්ටිමීටර 100 සිට 150 දක්වා ප්‍රමාණයකින් ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී ඇත. මෙය ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන්ට සහ වෙරළබඩ ජනාවාසවලට එල්ල වන දැඩි තර්ජනයක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම මිනුම් දෝෂයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝ පර්යේෂකයන් වෙරළබඩ මුහුදු මට්ටම සෘජුව මැනීම වෙනුවට ‘Geoid’ නම් ගෝලීය ගුරුත්වාකර්ෂණ ආකෘති මත පදනම් වූ දත්ත භාවිතා කිරීමයි. නෙදර්ලන්තයේ වැගනින්ගන් (Wageningen) විශ්ව විද්‍යාලයේ ආචාර්ය පිලිප් මින්ඩර්හවුඩ් ප්‍රමුඛ කණ්ඩායම පෙන්වා දෙන්නේ සුළඟ, සාගර දියවැල්, ජලයේ උෂ්ණත්වය සහ ලවණතාව වැනි සාධක නිසා මුහුදු මට්ටම ප්‍රාදේශීයව වෙනස් වන බව මෙම ආකෘති මගින් සැලකිල්ලට ගෙන නොමැති බවයි. මේ හේතුවෙන් ලොව පුරා වෙරළබඩ පර්යේෂණ 90%ක්ම වැරදි දත්ත මත පදනම් වී ඇති බව ඔවුන් පවසයි.
මෙම නව දත්තවලට අනුව මුහුදු මට්ටම මීටරයකින් ඉහළ ගියහොත්, මීට පෙර අපේක්ෂා කළාට වඩා 37%ක වෙරළබඩ ප්‍රමාණයක් මුහුදට යට වීමේ අවදානමක් පවතී. මෙහි බලපෑම ලොව පුරා මිලියන 132ක ජනතාවකට සෘජුවම එල්ල වනු ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) නිකුත් කර ඇති වාර්තා පවා මෙම වැරදි දත්ත මත පදනම් වී ඇති බැවින්, වෙරළබඩ ආරක්ෂණ ප්‍රතිපත්ති වහාම යළි සමාලෝචනය කළ යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල වෙරළබඩ නගර සහ සංචාරක කලාපවලට මෙහි බලපෑම අපේක්ෂිත කාලයට වඩා කලින් එල්ල විය හැකිය.
මැදපෙරදිග යුද අර්බුදය සහ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, පෘථිවියේ පැවැත්මට එල්ල වන මෙවැනි පාරිසරික තර්ජන පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා අනාගතයේදී සිදුවිය හැකි මහා පරිමාණ අභ්‍යන්තර සංක්‍රමණයන් වැළැක්වීමට නම්, නිවැරදි දත්ත මත පදනම් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ වෙරළ සංරක්ෂණ ක්‍රමවේද දැන් සිටම ක්‍රියාත්මක කළ යුතුව ඇත.














