මදුරන්කුලිය පොලිස් වසමේ කිලාමඩුච්චේන ප්‍රදේශයේදී පාපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) පස්වරුවේ මදුරන්කුලිය දෙස සිට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 08 සහ 13 වයස්වල පසුවන මෙම ළමුන් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මොවුන් කිලාමඩුච්චේන ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මදුරන්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














