ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට දේශීය ආරක්ෂක ලේකම් (DHS) ධුරය දැරූ ක්‍රිස්ටි නෝම්ව එම ධුරයෙන් ඉවත් කර, ඒ වෙනුවට ඔක්ලහෝමා ප්‍රාන්තයේ සෙනෙට් සභික මාර්ක්වේන් මුලින්ව පත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස අවසානයේදී ක්‍රිස්ටි නෝම් සිය ධුරයෙන් ඉවත් වන අතර, ඇයව “Shield of the Americas” නම් බටහිර අර්ධගෝලයේ නව ආරක්ෂක වැඩපිළිවෙළක විශේෂ නියෝජිතවරිය ලෙස පත් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කළා.
ඉකුත් වසරේ ට්‍රම්ප් පාලනය යටතේ වැඩ භාරගත් ක්‍රිස්ටි නෝම්, ඇමරිකානු සංක්‍රමණික විරෝධී වැඩපිළිවෙළේ ප්‍රබල චරිතයක් බවට පත් වුණා. විශේෂයෙන්ම බුලට්පෲෆ් ඇඳුම් කට්ටලවලින් සැරසී සංක්‍රමණිකයන් වැටලීමේ මෙහෙයුම්වලට සෘජුවම සහභාගී වෙමින් ඇය මාධ්‍ය අවධානය දිනාගත් අතර, ඇමරිකා-මෙක්සිකෝ දේශසීමාව වසා දැමීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් ද පෙනී සිටියාය. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනය තුළ ඇයගේ ආන්දෝලනාත්මක භූමිකාව මෙම තීරණයත් සමඟ වෙනස් මාවතකට යොමු වී තිබෙනවා.














