ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ අවදානම සැලකිල්ලට ගෙන පරීක්ෂණ ඇරඹෙයි
සියලුම පොලිස් ස්ථාන මගින් දත්ත රැස් කිරීමට පොලිස්පතිවරයාගෙන් නියෝග
ඩ්‍රෝන යානා භාවිත කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම් හෝ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසිය තීරණය කර ඇත. ඇතැම් ආයතන මගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මට්ටමේ ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් මෙරටට ආනයනය කර අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වීම මෙයට හේතු වී තිබේ.
මේ සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි පියවර කිහිපයක් මෙසේය. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මෙම ව්‍යාපාරික කටයුතු සිදු කරන්නේද යන්න සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඩ්‍රෝන යානා ආනයනය කරන ආයතන, අලෙවිසැල් සහ අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳ නිසි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට පොලිසිය කටයුතු කරනු ඇත.
විශේෂයෙන්ම බලපත්‍ර රහිතව ඩ්‍රෝන යානා සන්තකයේ තබා ගැනීම සහ ඒවා ක්‍රියා කරවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගැනීමට නියමිත බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














