වසර 18කට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී 12 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් අපහරණය කර පොල්ලකින් පහර දී ඝාතනය කළ විත්තිකරුවකුට බලපිටිය මහාධිකරණය විසින් ඊයේ (07) මරණීය දණ්ඩනය නියම කරන ලදී. මෙම බෝම්බ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසිනි. 2008 වසරේ දෙසැම්බර් මස 04 වැනි දින තල්ගස්ගොඩ සුදුවැල්ල ප්‍රදේශයේදී මෙම අමානුෂික අපරාධය සිදුවී තිබූ අතර, එහි විත්තිකරු වූයේ තල්ගස්ගොඩ පදිංචි නලිඳු සම්පත් හෙවත් ‘පුංචා’ නමැති පුද්ගලයාය.
පාසල් ක්‍රීඩා උත්සවයට සහභාගී වී නැවත නිවස බලා එමින් සිටි 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරියව විත්තිකරු විසින් බලහත්කාරයෙන් කුරුඳු කැලයකට රැගෙන ගොස් අපයෝජනය කර ඇති අතර, පසුව ඇයට මාරාන්තික ලෙස පහර දී සිරුර ළිඳකට දමා තිබියදී සොයා ගැනුණි. විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ අපහරණය යන පළමු චෝදනාවට වසර පහක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම වූ අතර, මනුෂ්‍ය ඝාතනය යන දෙවන චෝදනාවට මරණීය දණ්ඩනය නියම විය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි.















