2024 වසරේ ලාභදායී ආයතනයක් බවට පත්ව තිබූ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 32.5ක දැවැන්ත ශුද්ධ අලාභයක් වාර්තා කරමින් යළිත් මූල්‍ය අර්බුදයකට ඇද වැටී ඇති බව මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දෙයි. 2024 වසරේ රුපියල් බිලියන 565.3ක් වූ මුළු ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 436.1 දක්වා 23%ක සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම මෙම අලාභයට ප්‍රධානතම හේතුව වී තිබේ.
ආදායම පහළ ගියද, විදුලිය උත්පාදනය සහ බෙදා හැරීමේ පිරිවැය 3%කින් ඉහළ ගොස් ඇති අතර පරිපාලන වියදම් ද 15%කින් (රුපියල් බිලියන 22.8 දක්වා) ඉහළ ගොස් ඇත. මීට අමතරව බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 31 ඉක්මවා යාම මණ්ඩලයේ ස්ථාවරත්වයට දැඩි පහරක් එල්ල කර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සහ ලංකා කෝල් සමාගම වැනි අනුබද්ධ ආයතන ලැබූ ලාභය නිසා සමූහ මට්ටමේ අලාභය රුපියල් බිලියන 12.8ක් දක්වා අඩු වී තිබේ.














