බාල ගල්අඟුරු භාවිතය නිසා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය බිඳවැටී ඇති බවට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, බලාගාරය මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි. ගල්අඟුරු ආනයනය පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළව බලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය. පාර්ලිමේන්තුව තුළ පවා මේ පිළිබඳව විවිධ මතවාද පළ වුවද, ක්ෂේත්‍ර පරීක්ෂාවේදී යන්ත්‍ර සූත්‍රවල කිසිදු දෝෂයක් දක්නට නොලැබුණු බව ඔහු පෙන්වා දුන්නේය.
විදුලි උත්පාදන ධාරිතාවේ සුළු අඩුවීමක් පැවතුණද, එය වත්මන් විදුලි ඉල්ලුමට සාපේක්ෂව ගැටලුවක් නොවන බවත් ජනතාව ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. බාල ගල්අඟුරු නිසා පරිසරයට හානි වන බවට සහ විදුලි ජනනයට බාධා වන බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ද ඉදිරියේදී විධිමත් විගණන විමර්ශනයක් පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගල්අඟුරු ආනයනය ආරම්භ කළ දින සිට මේ දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියම විමර්ශනය කර ඉදිරි තීන්දු තීරණ ගන්නා බව ද වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙහිදී පැවසීය.














