මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ඇතැම් ගුවන් සීමාවන් වසා දැමීම හේතුවෙන්, අද (07) සහ හෙට (08) දිනට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර 10ක් අවලංගු කර තිබේ. කලාපයේ පවතින අස්ථාවර වාතාවරණය හමුවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණයට හේතු වී ඇත.
අවලංගු කර ඇති ගුවන් ගමන් වාර අතර UL 225 (කොළඹ – ඩුබායි) සහ UL 226 (ඩුබායි – කොළඹ), UL 265 (කොළඹ – රියාද්), UL 217 (කොළඹ – දෝහා) සහ UL 218 (දෝහා – කොළඹ) යන යානා වේ. එමෙන්ම UL 253 (කොළඹ – දම්මාම්) සහ UL 254 (දම්මාම් – කොළඹ), UL 229 (කොළඹ – කුවේට්) සහ UL 230 (කුවේට් – කොළඹ) මෙන්ම හෙට දිනට නියමිත UL 231 (කොළඹ – ඩුබායි) ගුවන් යානය ද අවලංගු කර ඇත.
කෙසේ වෙතත් මෙම අවලංගු කිරීම් හේතුවෙන් පීඩාවට පත් මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (08) දින කොළඹ සහ ලන්ඩන් අතර විශේෂ අතිරේක ගුවන් ගමන් වාරයක් (UL 1205/1206) ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත. සිය ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ) හෝ +94 11 777 1979 (විදේශයන්හි සිට) ඇමතීමෙන් හෝ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකිය.














