ඉරානයට එරෙහිව එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර වහාම නතර කරන ලෙස ඉල්ලා එංගලන්තයේ ලන්ඩන් අගනුවර වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් ඊයේ (07) දැවැන්ත විරෝධතා පෙළපාලියක නිරත වූහ. මධ්‍යම ලන්ඩනයේ මිල්බෑන්ක් (Millbank) ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම පා ගමන වොක්ෂෝල් (Vauxhall) හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය දක්වා ගමන් කර තිබේ.
විරෝධතාකරුවන් 5,000කට අධික පිරිසක් සහභාගී වූ බව පොලිසිය ඇස්තමේන්තු කර ඇති අතර සංවිධායකයින් පවසන්නේ එම සංඛ්‍යාව 20,000ත් 30,000ත් අතර වන බවයි. “අපි ජනතාව, අපි නිහඬ නොවනු ඇත” (We are the people, we won’t be silenced) සහ “දැන්ම බෝම්බ හෙලීම නවත්වන්න” (Stop the bombing now) වැනි සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් ඉරාන සහ පලස්තීන ධජ ඔසවාගෙන විරෝධතාවයේ නිරත විය.
‘Stop the War Coalition’ සහ ‘Campaign for Nuclear Disarmament’ (CND) ඇතුළු සංවිධාන රැසක් විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඔවුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ මෙම නීතිවිරෝධී යුද්ධයට සහාය දීම නවත්වන ලෙසයි. මෙම විරෝධතාවය පැවැත්වුණේ ඉරානයේ ආගමික නායකයා ඝාතනය කිරීමෙන් පසු ඇමරිකානු B-1 ලැන්සර් (B-1 Lancer) බෝම්බ හෙලන යානා බ්‍රිතාන්‍යයේ ග්ලෝස්ටර්ෂයර් හි ගුවන් කඳවුරකට පැමිණ ඇති බවට වාර්තා වන පසුබිමකයි.
විරෝධතාකරුවන් අවධාරණය කළේ මෙම යුද්ධය හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්වන අතර සාමාන්්‍ය වැසියන් මෙහි ගොදුරු බවට පත්වන බවයි.














