ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකාව “හුණ්ඩුවක්” ලෙස හැඳින්වීම දැඩි ලෙස විවේචනය කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) අදහස් දැක්වීය. ඔහු පවසන්නේ රට කුඩා බව හැඟෙන්නේ රටේ ප්‍රමාණය නිසා නොව, ජනාධිපතිවරයා සතු පෞර්ෂත්වය, දැනුම සහ ප්‍රකාශන හැකියාව පිළිබඳ පවතින දුර්වලතා නිසා බවයි.
ජාත්‍යන්තර සමුළුවලදී රාජ්‍ය නායකයෙකු ලෙස අනුර දිසානායක මහතාව ගණන් නොගැනීමට හේතුව ඔහුගේ සන්නිවේදන හැකියාවේ පවතින ගැටලුවක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. මීට පෙර සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, සිරිමා බණ්ඩාරනායක, ලක්ෂ්මන් කදිරගාමර් සහ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සිය පෞර්ෂය හරහා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව ඉතා ඉහළින් ඔසවා තැබූ බව ඔහු සිහිපත් කළේය.
දත්ත අනුව ශ්‍රී ලංකාව ලොව රටවල් අතර මානව සංවර්ධනයෙන් 78 වන ස්ථානයේත්, විශාලත්වය අනුව 120 වන ස්ථානයේත් පසුවන බැවින් රට කිසිසේත්ම “හුණ්ඩුවක්” ලෙස හැඳින්විය නොහැකි බවත්, ජනාධිපතිවරයා එසේ පවසන්නේ තමන්ගේම පෞර්ෂය පිළිබඳ පවතින හීනමානය නිසා බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















