ශ්‍රී ලංකා භාරයේ සිටින ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳව රජයේ බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර අද (මාර්තු 09) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය IRIS Dena නෞකාවේ සිට බේරාගත් නාවිකයන් 32ක් සහ IRIS Bushehr නෞකාවේ සිටි නාවිකයන් 204ක් මේ වන විට ශ්‍රී ලංකා රජයේ රැකවරණය යටතේ පසුවේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, තානාපති කාර්යාල නිලධාරීන් සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මෙරට රඳවා තබා ගන්නවාද නැතහොත් සිය රට බලා පිටත් කරනවාද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි. ඉරානය සහ ඇමරිකාව අතර පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව ගන්නා මෙම තීරණය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මේ අතර, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (මාර්තු 08) ප්‍රකාශ කළේ, මානුෂීය පදනම මත මෙම නාවිකයන්ට මාසයක කාලයක් සඳහා නොමිලේ වීසා (Gratis Visas) ලබා දීමට රජය තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර නාවික නීති සහ සම්මුතීන්ට අනුකූලව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත්, ශ්‍රී ලංකාව මෙම ගැටලුවේදී කිසිදු පාර්ශවයකට පක්ෂපාතී නොවන මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බවත් රජය අවධාරණය කරයි. මීට අමතරව, මියගිය නාවිකයන්ගේ සිරුරු ඉරානයට භාරදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වීමට නියමිතය.














