ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ නව මානයක් සනිටුහන් කරමින් ධනිත් ශ්‍රී විසින් මෙහෙයවන ලද ‘ආලෝකවර්ෂා 360’ ප්‍රසංගය පසුගිය පෙබරවාරි 21 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අතිසාර්ථක අන්දමින් පවත්වන ලදී. මෙරට විශාලතම ගෘහස්ථ ක්‍රීඩාංගණයක පැවැත්වූ ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා වූ සියලුම ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් වීම ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තැබූ සුවිශේෂී වාර්තාවක් ලෙස සැලකේ.
‘ආලෝකවර්ෂා’ යනු හුදෙක් ගීත ප්‍රසංගයක් පමණක් නොව සංගීතය, තාක්ෂණය සහ නිර්මාණශීලී දැක්ම මුසු වූ නව්‍ය අත්දැකීමකි. මෙහිදී සංගීතයට සමගාමීව “ගීතවල සුවඳ” (Fragrance of songs) ප්‍රේක්ෂකයන්ට සමීප කිරීම වැනි ලංකාවේ ප්‍රථම වරට අත්හදා බැලූ අත්දැකීම් රාශියක් ඇතුළත් විය. ප්‍රසංගය පුරාවට දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ජංගම දුරකථන තිර සංගීත රිද්මයට අනුකූලව සමමුහුර්ත (Synchronized) කර තිබූ අතර, මුළු ක්‍රීඩාංගණයම ආලෝකයෙන් සහ ශබ්දයෙන් ඔපවත් වූ සජීවී චිත්‍රයක් බවට පත් විය.
ආලෝකවර්ෂා 360 ප්‍රසංගයේ මූලික අරමුණ වූයේ හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයාගේ මනස සහ අභ්‍යන්තර හඬ අවදි කරමින් ඔවුන් තුළ නිදහස් හැඟීමක් සහ ආශ්වාදයක් ඇති කිරීමයි. තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් ප්‍රේක්ෂකයා ද ප්‍රසංගයේම කොටස්කරුවෙකු බවට පත්කිරීම මෙහි පැවති සුවිශේෂී ලක්ෂණයක් විය.














