2025 නොවැම්බර් මාසයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් ප්‍රධාන අපනයන භෝග නැවත වගා කිරීම සඳහා ගොවීන් වෙත මූල්‍ය සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව හානියට පත් පොල් වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 750,000/- ක් ද, තේ වගාව සඳහා රුපියල් 500,000/- ක් ද සහ රබර් වගාව සඳහා රුපියල් 400,000/- ක් දක්වා උපරිම මූල්‍ය සහන ලබා දීමට පියවර ගෙන ඇත. මීට පෙර එළවළු, පළතුරු සහ සුළු අපනයන භෝග වන ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වැනි වගාවන් සඳහා ලබා දුන් සහනවලට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම නව සහන මාලාව හඳුන්වා දී තිබේ. මහා භාණ්ඩාගාරය හරහා මෙම ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එමඟින් අපේක්ෂා කරන්නේ ආපදාවෙන් පීඩාවට පත් ගොවීන්ගේ ජීවනෝපාය නඟා සිටුවීම සහ රටේ අපනයන ආදායම සුරක්ෂිත කිරීමයි.














