රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරී පත් නොවූ උසස් පෙළ සමත් සිසුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල රජය පිළිගත් උපාධි හැදෑරීම සඳහා ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දැනට මෙම පහසුකම ලබාදෙන ලංකා බැංකුව සහ මහජන බැංකුවට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) හරහා ද මෙම ණය මුදල් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මෙම වැඩසටහනේ 10 වන අදියර යටතේ සිසුන් 7,000ක් සඳහා ණය පහසුකම් සැලසීමට සැලසුම් කර ඇති අතර එමඟින් මූල්‍ය අපහසුතා හේතුවෙන් උසස් අධ්‍යාපන වරම් අහිමි වන සිසුන්ට තම ප්‍රදේශයේදීම තවත් ප්‍රධාන රාජ්‍ය බැංකුවක් හරහා වඩාත් පහසුවෙන් මෙම සේවාව ලබාගැනීමට අවස්ථාව සැලසේ.














