බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලට හෙට (මාර්තු 12) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මෙම උණුසුම් මට්ටම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම අධික උණුසුම හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවට උපදෙස් ලබා දී ඇති අතර නිරන්තරයෙන් ජලය පානය කිරීම සහ විජලනයෙන් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් නිවෙස් තුළ සිටින වැඩිහිටි පුද්ගලයින්, රෝගීන් සහ කුඩා ළමුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එමෙන්ම කුඩා ළමුන් මෝටර් රථ වැනි වසා දැමූ වාහන තුළ තනිවම රඳවා තැබීම අතිශය අවදානම් සහගත බවත්, ඉන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එළිමහනේ වැඩ කරන පුද්ගලයින් සෙවණ ඇති ස්ථානවල විවේකය ලබා ගැනීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීම වැදගත් වේ.














