උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහල මෙන්ම මෙරට තෙවන විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහල, ඉදිරියේදී මෙරට සිව්වන ජාතික රෝහල බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. ඊයේ (මාර්තු 10) අනුරාධපුර රෝහලේ පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ රෝහලේ නාම පුවරුව වෙනස් කිරීමට පෙර, අවශ්‍ය ගොඩනැගිලි පද්ධති සහ සියලු සම්පත් සම්පූර්ණ කිරීමට රජය බලාපොරොත්තු වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව, අවට දිස්ත්‍රික්ක රැසක මිලියන තුනකට අධික ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන මෙම රෝහලේ මානව සම්පත් ගැටලු විසඳීම සඳහා ද පියවර ගෙන ඇත. ඒ අනුව, ලබන ඔක්තෝබර් මාසය වන විට නව හෙද පත්වීම් ලබාදීමටත්, ඉදිරියේදී සෞඛ්‍ය කාර්ය සහායකයින් සහ විකිරණ ශිල්පීන් බඳවා ගැනීමටත් කටයුතු සූදානම් කර තිබේ.
මීට අමතරව, රෝහලේ ජීව වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයන් සපුරාලමින් CT ස්කෑන්, මැමෝග්‍රෑම් සහ පිළිකා ඒකකය සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර 2027 වසරේදී ලබාදීමට සැලසුම් කර ඇත. රෝහල අවට පවතින අනවසර ඉදිකිරීම් සහ පදික වෙළඳාම හේතුවෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, ඖෂධ සැපයුම් ජාලය වඩාත් විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී තිබේ. මෙම අවස්ථාවට නිවාස, ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














