මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම අරමුණු කරගනිමින් රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාව සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ. ලෝක බලවතුන් අතර පවතින මතභේද හමුවේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමග කලාපීය සාමය පිළිබඳ ගැටලුව තවදුරටත් සංකීර්ණ වී ඇත. මේ අතර ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලබන ප්‍රහාර සහ තර්ජන දැඩි ලෙස හෙළා දකිමින් ඉදිරිපත් වූ වෙනත් යෝජනාවකට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 13ක සහය හිමිවීම විශේෂත්වයකි.
රටවල් 135ක සම අනුග්‍රහය සහිතව ඉදිරිපත් වූ මෙම යෝජනාව මගින් ජෝර්දානය ඇතුළු ගල්ෆ් කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටියද, රුසියාව සහ චීනය එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. ඉරානයට එරෙහිව ගෙන ආ මෙම යෝජනාව තුළ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර එල්ල කරනු ලබන ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. බලවත් රාජ්‍යයන් අතර පවතින මෙම දේශපාලනික බෙදීම් හේතුවෙන් මැදපෙරදිග යුද ගින්න නිවා දැමීමට ජාත්‍යන්තර මට්ටමින් ගන්නා උත්සාහයන් දැඩි අභියෝගයකට ලක්ව තිබේ.














