ඉන්දියාවේ දිල්ලි අගනුවර උත්තම් නගර් ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක හටගත් දරුණු ගින්නකින් නිවාස 300ත් 400ත් අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ඊයේ (11) රාත්‍රී 11:50ට පමණ මටියාලා ගම්මානයේ පිහිටි මත්ස්‍ය වෙළඳපොළකින් මෙම ගින්න ආරම්භ වී ඇති බව වාර්තා වේ. වෙළඳ කටයුතු නිමවෙමින් පවතින මොහොතක හටගත් මෙම ගින්න ඉතා වේගයෙන් අවට පිහිටි ජනාකීර්ණ පැල්පත් නිවාස කරා පැතිර ගොස් ඇත.
දිල්ලි ගිනි නිවන සේවය වහා ක්‍රියාත්මක වෙමින් ගිනි නිවන රථ 23ක් යොදවා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමකින් පසු අද (12) අලුයම 3:45ට පමණ ගින්න පාලනය කිරීමට සමත්ව තිබේ. වාසනාවකට මෙන් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වුවද, පවුල් සිය ගණනකට සිය නිවාස මෙන්ම ජීවනෝපාය මාර්ග ද සම්පූර්ණයෙන්ම අහිමි වී ඇත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වයි.














