දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය අද (මාර්තු 12) පෙරවරු 10ට ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 2027 වසර දක්වා වූ ඉදිරි කාලසීමාව සඳහා මලල ක්‍රීඩා පරිපාලනය මෙහෙයවන නව නිලධාරී මඩුල්ලක් තෝරා පත්කර ගැනීම මෙහි අරමුණයි. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් නිලවරණ කමිටුවක් විසින් මෙම කටයුතු මෙහෙයවනු ලබයි.
මෙවර සභාපති ධුරය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර දැඩි තරගයක් පවතී. හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයෙකු වන සුනිල් ගුණවර්ධන මහතා සහ ඕල්කට් පාසල් එකමුතුවේ සභාපති බිමල් විජේසිංහ මහතා එම අපේක්ෂකයෝ වෙති. ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් 33කට අයත් නියෝජිතයන්ට මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන අතර, ප්‍රකාශිත මුළු ඡන්ද 99න් ඡන්ද 50ක් ලබාගන්නා පාර්ශ්වයට ජයග්‍රහණය හිමිවනු ඇත.
නිලවරණයේදී තනතුරු 15ක් සඳහා නිලධාරීන් පත්කර ගැනීමට නියමිතය. සුනිල් ගුණවර්ධන මහතාගේ පාර්ශ්වයෙන් ලේකම් ධුරයට වෛද්‍ය ධම්මික සේනානායක මහතා ඉදිරිපත් වී සිටින අතර, බිමල් විජේසිංහ මහතාගේ පාර්ශ්වයෙන් මාධව සෙනරත් මහතා ලේකම් ධුරය සඳහා තරග වදියි. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව තවත් කිහිපදෙනෙකු සභාපති ධුරයට නාමයෝජනා භාර දී තිබුණද, ඔවුන් අවසන් මොහොතේ ප්‍රධාන කණ්ඩායම් වෙත සහාය පළ කරමින් ඉවත් වනු ඇතැයි දේශපාලන හා ක්‍රීඩා විචාරකයෝ අපේක්ෂා කරති.
















