පාසල් සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් තවදුරටත් විධිමත් කිරීමේ අරමුණින් ‘සිසු සැරිය’ පාසල් බස් රථ සේවාව සඳහා මේ වසර තුළ අලුතින් බස් රථ 200කට වැඩි ප්‍රමාණයක් එක් කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ (NTC) නිලධාරීන් අද (12) බත්තරමුල්ල ඉසුරුපාය පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව තහවුරු කළහ.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම සේවාව සඳහා රජය මේ වසරේ රුපියල් බිලියනයක මුදලක් වෙන් කර ඇත. පාසල් දරුවන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛතාවයක් ලෙස සලකන බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට ද පියවර ගනිමින් සිටී. වාහනවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුද්ද සහ කොන්දොස්තරවරුන්ගේ තොරතුරු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තිමය තීරණ මේ වන විට කෙටුම්පත් කෙරෙමින් පවතින බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
දිවයින පුරා ‘සිසු සැරිය’ සේවාව ව්‍යාප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ හිමියන්ට සහ කුඩා පරිමාණ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ. ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ආසන්නතම ලංගම (SLTB) කාර්යාලය හෝ ප්‍රවාහන මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය. ප්‍රවාහන දුෂ්කරතා පවතින පාසල්වල සිසුන්ට සිය විදුහල්පතිවරුන් මාර්ගයෙන් අදාළ ආයතන දැනුවත් කර මෙම පහසුකම් ලබා ගත හැකි බව ද රජය දැනුම් දෙයි.
















