පසුගිය සතිය පුරා කෙන්යාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ගංවතුර තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මීට සතියකට පෙර මරණ සංඛ්‍යාව 42ක් ලෙස වාර්තා වූ අතර, පවතින අයහපත් කාලගුණයත් සමඟ එය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
අගනුවර වන නයිරෝබි (Nairobi) නගරයට මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මියගිය පිරිසෙන් 33 දෙනෙකුම එම නගරයේ පදිංචිකරුවන් වේ. නයිරෝබි හි අවධිමත් නාගරික සංවර්ධනය සහ ජලාපවහන පද්ධති අවහිර වීම ගංවතුර තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වේ. කෙන්යානු රතු කුරුස සංවිධානය සහ සහන කණ්ඩායම් එක්ව ගංවතුරට කොටු වූ පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර, 2,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ (William Ruto) පවසා සිටියේ විපතට පත්වූවන් සඳහා හදිසි ආහාර සහ වෛද්‍ය ආධාර ලබා දීමට කටයුතු කරමින් සිටින බවයි. කෙන්යාවට අමතරව අසල්වැසි ඉතියෝපියාවේ ද ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇති අතර, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි අන්තගාමී කාලගුණික තත්ත්වයන් ඇති වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.














