අතිශය අසාධ්‍ය තත්ත්වයක පවතින කියුබාවේ ජාතික විදුලි බල පද්ධතිය පසුගිය සඳුදා (16) සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්ව ඇති බව එරට විදුලි බල මණ්ඩලය (UNE) නිවේදනය කරයි. ඇමරිකාව විසින් පනවා ඇති දැඩි තෙල් සම්බාධක හමුවේ එරට පවතින යල් පැන ගිය විදුලි උත්පාදන පද්ධතිය අඩපණ වීම නිසා මේ වන විට කියුබානු වැසියන් මිලියන 10කට ආසන්න පිරිසකට විදුලිය අහිමි වී තිබේ. විදුලි බලාගාරවල විශාල දෝෂයක් මෙතෙක් වාර්තා වී නොමැති වුවද, සම්ප්‍රේෂණ පද්ධතියේ පවතින ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන්නට ඇතැයි බලධාරීන් සැක කරන අතර කුඩා පරිපථ මගින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවර මේ වන විටත් ආරම්භ කර ඇත.
කියුබාවේ ප්‍රධානතම විදේශීය හිතවතෙකු වන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව වෙත එල්ල කරන පීඩනය තවදුරටත් දැඩි කර තිබේ. වෙනිසියුලාවෙන් කියුබාවට ලැබෙන තෙල් නැව්ගත කිරීම් නවතා දැමීමට ට්‍රම්ප් පියවර ගෙන ඇති අතර, කියුබාවට තෙල් අලෙවි කරන ඕනෑම රටකට එරෙහිව තීරුබදු පනවන බවට ද ඔහු අනතුරු අඟවා ඇත. තෙල් නැව් හඹායාමේ දත්තවලට අනුව මෙම වසර තුළ කියුබාවට ලැබී ඇත්තේ කුඩා තෙල් නැව් දෙකක් පමණක් වන අතර, වරක් එරට ප්‍රධාන තෙල් සැපයුම්කරු වූ වෙනිසියුලාවෙන් මේ වසරේදී කිසිදු ඉන්ධන තොගයක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය පවසයි.
පවතින මෙම දැඩි බලශක්ති අර්බුදය සමනය කර ගැනීම සඳහා කියුබානු රජය පසුගිය සිකුරාදා ඇමරිකාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, කියුබාව මේ වන විට බිඳ වැටීමේ අද්දර සිටින බැවින් ඔවුන් ඇමරිකාව සමඟ එකඟතාවයකට පැමිණීමට උනන්දුවෙන් පසුවන බව ජනාධිපති ට්‍රම්ප් මෑතකදී ප්‍රකාශ කළේය. කියුබානු වැසියන් නිරන්තර විදුලි කප්පාදුවලට හුරුවී සිටියද, පසුගිය සති අන්තයේදී ඇතැම් ප්‍රදේශවල මෙයට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ද මතු විය. හවානා අගනුවර වැසියන් පවසන්නේ විදුලිය නොමැතිව ජීවත් වීමට තමන්ට දැන් සිදුව ඇති බවත්, විකල්ප බලශක්ති මාර්ග සොයා ගැනීමට සිදුව ඇති බවත්ය.














