පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන සංරක්ෂණය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
නව උපදෙස් අනුව සෑම බදාදා දිනකම රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දී ඇති බැවින් නිල රාජකාරී කටයුතු එම සතියේ අඟහරුවාදා දිනවලට සැලසුම් කළ යුතු වේ. කෙසේ වෙතත් යම් නිලධාරියෙකු බදාදා දිනක සේවයට කැඳවීමට ආයතන ප්‍රධානියා තීරණය කරන්නේ නම් ඒ සඳහා බාධාවක් නොමැති නමුත් එවැනි සේවය කිරීම් වෙනුවෙන් අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ ඒ වෙනුවට හිලව් නිවාඩු ලබා නොදිය යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
බදාදා දිනවල වසා තබන කාර්යාලවල සේවකයින් අතිකාල හෝ නිවාඩු දින වැටුප් පදනම මත එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනවල සේවයේ යෙදවීම ද තහනම් කර ඇත. නමුත් අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතාවයක් පවතින්නේ නම් අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව නිලධාරීන් නිවාඩු දිනවල සේවයට කැඳවිය හැකි අතර එවැනි සුවිශේෂී අවස්ථාවලදී පමණක් අතිකාල හෝ දීමනා ගෙවීමට අවසර හිමි වේ.














