ස්පාඤ්ඤයේ Cáceres (කැසරස්) නගරය 2031 වසර සඳහා වන “යුරෝපා සංගම් සංස්කෘතික අගනුවර” (European Capital of Culture) ගෞරව නාමය දිනා ගැනීම සඳහා වන අවසන් වටයට තේරී පත්වී තිබේ. යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙම නගරයේ සැඟවුණු ඉතිහාසය සහ වැදගත්කම පිළිබඳ කරුණු මෙසේය:
නගරයේ පිහිටි ‘Maltravieso’ ගුහාව තුළින් වසර 67,000කට වඩා පැරණි අත්ල සළකුණු හමුවී තිබේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා නියැන්ඩර්තාල්වරුන් (Neanderthals) විසින් කරන ලද නිර්මාණ බවයි. මෙය ලොව පැරණිතම ප්‍රාග් ඓතිහාසික කලා සාධකයක් ලෙස සැලකේ. නගරයේ මධ්‍යතන යුගයේ වීදි සහ මාලිගා කොතරම් හොඳින් ආරක්ෂා වී තිබේද යත් එය ජාත්‍යන්තර නිර්මාණ සඳහා කදිම පසුබිමක් සපයයි. ලොව අතිශය ජනප්‍රිය ‘Game of Thrones’ සහ එහි මීළඟ කොටස වන ‘House of the Dragon’ යන කතා මාලාවන්හි දර්ශන රාශියක් මෙම නගරයේදී රූගත කර තිබේ.
15 වන සියවසේදී පළමුවන ඉසබෙලා රැජින විසින් නගරයේ වංශාධිපති පවුල්වලට අයත් සියලුම ආරක්ෂක කුළුණු කපා දැමීමට (truncation) නියෝග කළාය. ඊට හේතුව වූයේ එම පවුල් සිවිල් යුද්ධයේදී ඇයට එරෙහිව කටයුතු කිරීමයි. කෙසේ වෙතත් ‘Palacio de las Cigüeñas’ (කොකුන්ගේ මාලිගය) සතු කුළුණ පමණක් ඇය කෙරෙහි පක්ෂපාතී වූ නිසා නොවෙනස්ව තබා ගැනීමට අවසර ලැබුණි. Cáceres නගර මධ්‍යය යුරෝපයේ පවතින තෙවන හොඳම ආරක්ෂිත මධ්‍යතන යුගයේ නගරය ලෙස සැලකේ. ප්‍රාග් සහ ටැලින් (Prague and Tallinn) නගරවලට පමණක් දෙවැනි වන මෙය රෝම, අරාබි, ගොතික් සහ පුනරුද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ අපූරු සම්මිශ්‍රණයකි.
නගර මධ්‍යයේ පිහිටි ‘Palacio de las Veletas’ මාලිගය යට අරාබි පාලන සමයට අයත් විශාල භූගත ජල ටැංකියක් (Aljibe) පිහිටා ඇත. අදටත් වර්ෂා ජලය එකතු කිරීමට භාවිත කළ හැකි මෙම ටැංකිය අයිබීරියානු අර්ධද්වීපයේ පවතින හොඳම තත්ත්වයේ පවතින පැරණි ජල ටැංකියක් ලෙස සැලකේ. නගරයේ පිහිටි ‘Toledo-Moctezuma’ මාලිගය මෙක්සිකෝවේ අවසන් ඇස්ටෙක් අධිරාජ්‍යයා වූ II වන මොක්ටෙසුමාගේ දියණිය වූ ඉසබෙල් මොක්ටෙසුමා වෙනුවෙන් ඉදිකරන ලද්දකි. ඇය ස්පාඤ්ඤ ජාතිකයෙකු සමඟ විවාහ වී පසුව මෙහි පදිංචියට පැමිණ ඇති අතර ඇස්ටෙක් සහ ස්පාඤ්ඤ සංස්කෘතීන් අතර පවතින ඓතිහාසික සබඳතාවට මෙය සාක්ෂියකි.














