2026 වසරේ පැවැත්වීමට නියමිත ෆිෆා (FIFA) පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය තුළ පැවැත්වෙන තරඟ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඉරාන පාපන්දු ප්‍රධානී මෙහ්දි තාජ් (Mehdi Taj) ප්‍රකාශ කළේය. දෙරට අතර පවතින දැඩි දේශපාලන සහ යුදමය නොසන්සුන්තාවය හමුවේ තම කණ්ඩායම ඇමරිකාවට සංචාරය නොකරන බවත්, එහෙත් ලෝක කුසලාන තරඟාවලිය වර්ජනය නොකරන බවත් ඔහු අවධාරණය කළේය.
ඉරානයට නියමිත මූලික වටයේ තරඟ ජූනි 16 දින නවසීලන්තය සමඟත්, ජූනි 21 දින බෙල්ජියම සමඟත් ඉන්ගල්වුඩ්හිදී (Inglewood) පැවැත්වීමට නියමිතව තිබුණි. එසේම ජූනි 26 වනදා ඊජිප්තුව සමඟ සියැටල්හිදී (Seattle) තරඟ කිරීමට නියමිතව තිබුණද, එම සියලු නගර ඇමරිකාව තුළ පිහිටා තිබීම ගැටලුවක් වී තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන ක්‍රීඩකයින්ට ඇමරිකාවට පැමිණිය හැකි වුවද ඔවුන්ගේ “ජීවිත සහ ආරක්ෂාව” පිළිබඳ සහතික විය නොහැකි බවයි.
මෙම ආරක්ෂක තර්ජන හමුවේ ඉරානය ෆිෆා ආයතනයෙන් ඉල්ලා ඇත්තේ තම තරඟ මෙක්සිකෝව වැනි සම-සත්කාරක රටකට මාරු කරන ලෙසයි. මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂීන්බාම් (Claudia Sheinbaum) ඒ සඳහා කැමැත්ත පළ කර තිබුණද, ෆිෆා ආයතනය මෙතෙක් නිල කාලසටහන වෙනස් කිරීමට එකඟ වී නොමැත. දැනට තුර්කියේ පුහුණුවීම්වල නිරත වන ඉරාන කණ්ඩායම පවසන්නේ තමන් ඇමරිකාව වර්ජනය කරන නමුත් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.














