ඉදිරි උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කර ඇති බැවින්, වෙළඳපොළ තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා අද (මාර්තු 19) ප්‍රකාශ කළේය. භාණ්ඩ හිඟයක් ඇති වෙතැයි බියෙන් තොග රැස්කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.
ඇණවුම් කරන ලද ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් මිස හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බවත්, විශේෂයෙන් කොළඹින් පිටත සිටින තොග වෙළඳුන් අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ලබා දීමට රජය සහ ආනයනකරුවන් මැදිහත් වී සිටින බව ද මෙහිදී ප්‍රකාශ විය.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල සුළු වැඩිවීමක් සිදු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගෝලීය බලශක්ති අර්බුදය ප්‍රවාහන වියදම් කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බව ද මෙහිදී අනාවරණය විය.














