ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා රජය එක්ව එම ගුවන් සමාගමේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 99%කට අධික සහභාගීත්වයකින් යුතුව සාර්ථකව අවසන් කර තිබේ. මෙය ජාතික ගුවන් සේවයේ මෙන්ම මෙරට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකේ. 2024 ජුනි මාසයේදී කල් පිරුණු, රජයේ ඇපකරය සහිත ඇමෙරිකානු ඩොලර් 175,000,000ක බැඳුම්කර සඳහා මෙම එකඟතාවය හිමිව ඇති අතර, ඒ අනුව පැවති ණය හිමිකම්වලින් 16%ක කපා හැරීමකට (Haircut) බැඳුම්කර හිමියන් එකඟ වී ඇත.
2026 පෙබරවාරි 20 වන දින ආරම්භ කරන ලද මෙම ආරාධනයට අනුව, පවතින බැඳුම්කර හිමියන් සිය හිමිකම් මුදල් (Cash) සහ 2028 දී කල් පිරෙන, රජය විසින් නිකුත් කරන ලද 4%ක පොලී අනුපාතයක් සහිත නව ඇමෙරිකානු ඩොලර් බැඳුම්කර (PDI bonds) සමඟ හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ. බැඳුම්කර හිමියන්ගෙන් 97%කට වඩා වැඩි පිරිසක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, එමගින් සියලුම පැරණි බැඳුම්කර නව බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීමට මග පෑදී ඇත. මෙම ගනුදෙනුවේ පියවීම් කටයුතු (Settlement) හෙට, එනම් 2026 මාර්තු 20 වන දින සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා සඳහන් කළේ, මෙම සාර්ථක ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධියට සහය වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වන බවයි. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, මෙරට සමස්ත බාහිර ණයවලින් 99%ක් සඳහාම ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් ඇති කර ගැනීමට හැකි වීම හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ රටේ ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) ඉහළ නංවා ගැනීමට මග පෑදෙන බවයි.














