සමාජ මාධ්‍ය ජාලවල, විශේෂයෙන්ම ටික්ටොක්හි පළවන මානසික සෞඛ්‍යය සහ ස්නායු විවිධත්වය (Neurodivergence) පිළිබඳ පෝස්ට්වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වැරදි තොරතුරු සහිත ඒවා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඔටිසම් (Autism), ADHD, විශාදය (Depression) සහ භින්නෝන්මාදය (Schizophrenia) වැනි තත්ත්වයන් පිළිබඳව පළවී ඇති පෝස්ට් 5,000ක් විශ්ලේෂණය කළ පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත්තේ ඉන් 56%ක්ම නිවැරදි නොවන හෝ තහවුරු නොකළ තොරතුරු බවයි.
අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවලට වඩා ටික්ටොක්හි වැරදි තොරතුරු පැතිරීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගනී. නිදසුනක් ලෙස, ADHD පිළිබඳ ටික්ටොක් වීඩියෝවලින් 52%ක් සහ ඔටිසම් පිළිබඳ වීඩියෝවලින් 41%ක් වැරදි තොරතුරු අඩංගු ඒවා බව හෙළි වී තිබේ. සාපේක්ෂව යූටියුබ් (YouTube) හි මෙම අගය 22%ක් වන අතර ෆේස්බුක් (Facebook) හි එය 15%ක් පමණ වේ.
වයස අවුරුදු 10-19 අතර පසුවන යෞවනයන්ගෙන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට යම් ආකාරයක මානසික ආබාධයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙයි. වර්තමානයේ බොහෝ තරුණ පිරිස් සිය රෝග ලක්ෂණ තේරුම් ගැනීමට සහ ස්වයං-රෝග විනිශ්චය (Self-diagnosis) සඳහා ටික්ටොක් වැනි වේදිකා භාවිතා කරන අතර, එහි ඇති වැරදි උපදෙස් නිසා ඔවුන් සැබෑ සායනික ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද වීමේ අවදානමක් පවතී.
පර්යේෂකයන් අනතුරු අඟවන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ආරම්භක පියවරක් ලෙස හොඳ වුවද, එය අනිවාර්යයෙන්ම වෘත්තීය මනෝ වෛද්‍යවරයකු ලවා තහවුරු කර ගත යුතු බවයි. වැරදි තොරතුරු මඟින් සාමාන්‍ය හැසිරීම් පවා රෝගී තත්ත්වයන් ලෙස අර්ථකථනය කිරීමට (Pathologising) ඉඩ ඇති අතර, එමඟින් මානසික සෞඛ්‍ය ගැටලු සහිත පුද්ගලයන් සමාජය තුළ කොන් වීමට (Stigma) ද හේතු විය හැකිය.
එංගලන්තයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ (University of East Anglia) පර්යේෂකයන් පවසන්නේ, නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු මූලාශ්‍ර හිඟ වීම නිසා මෙලෙස වැරදි මත වේගයෙන් ප්‍රචාරය වන බවයි.














