ඕමානයේ විවිධ ප්‍රදේශවලට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. දකුණු අල් බටිනා (South Al Batinah) පළාතේ ‘වාඩි අල් මාවිල්’ ප්‍රදේශයේදී වේගයෙන් ගලා ආ ගංවතුරට වාහන තුනක් හසුවීමෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. සහන කණ්ඩායම් විසින් එක් අයෙකු බේරා ගැනීමට සමත් වුවද, අනෙක් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පසුව තහවුරු විය.
ඕමාන සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය (CDAA) පවසන්නේ මස්කට් (Muscat) සහ අල් බටිනා වෙරළබඩ තීරයේ අවහිර වූ මාර්ගවල සිරවී සිටි පුද්ගලයන් 40කට අධික පිරිසක් මේ වන විට බේරාගෙන ඇති බවයි. පවතින අස්ථාවර කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව පැවතිය හැකි බවත්, අල් බුරෙයිමි, අල් දහිරා සහ අල් ශර්කියා වැනි ප්‍රදේශවලට තද වැසි, ප්‍රබල සුළං සහ අකුණු පවතින බවත් ඕමාන සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරු අඟවයි. ගලා යන ජල පහරවල් සහ නිම්න (Wadis) හරහා ගමන් කිරීමෙන් වළකින ලෙස බලධාරීන් රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.












