ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 17ක්) වටිනා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුඩා ලොරි රථයක් සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (21) දහවල් මීගමුව, මහහුනුපිටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත්තේ ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි.
ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළට ගොඩබා ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. එහිදී පැකට් 40ක් ලෙස අසුරන ලද කිලෝ ග්‍රෑම් 85ක බරින් යුත් කේරළ ගංජා තොගය ගෝනි දෙකක් තුළ සඟවා තිබියදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට පත් රියදුරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගමුව සුරාබදු නිලධාරීන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














