මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඕනෑම මට්ටමක සාකච්ඡාවකට සත්කාරකත්වය ලබා දීමට තමන් සූදානම් බව පාකිස්තානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරාන-ඇමෙරිකානු ගැටුම සහ ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීමට දරන උත්සාහය හමුවේ කලාපීය ස්ථාවරත්වය බිඳ වැටී ඇති බැවින්, සාමය උදාකර ගැනීම සඳහා මැදිහත්කරුගේ භූමිකාව ඉටු කිරීමට පාකිස්තානය ඉදිරිපත් වී ඇත.
ඉස්ලාමාබාද් නුවරදී විශේෂ ප්‍රකාශයක් කරමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීම මුළු මහත් ආසියානු කලාපයේම ආර්ථිකයට සහ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි. විශේෂයෙන්ම ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාම බිඳ වැටීම හමුවේ ඉරානය සහ ඇමෙරිකාව අතර “තිරසාර” එකඟතාවයකට පැමිණීම අත්‍යවශ්‍ය බව පාකිස්තානය අවධාරණය කරයි. චීනය සහ සෞදි අරාබිය වැනි මිත්‍ර රටවල් සමඟ එක්ව මෙම සාම සාකච්ඡා මෙහෙයවීමට තමන් බලාපොරොත්තු වන බව ද එහිදී සඳහන් විය.















