ඉන්ධන ලබාගැනීම සඳහා භාවිත කරන ජාතික ඉන්ධන බලපත්‍ර (National Fuel Pass) පද්ධතිය අවභාවිත කරමින් ව්‍යාජ QR කේත සකස් කිරීමේ සිද්ධීන් 200කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ. මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ, ඇතැම් පිරිස් වැඩිහිටි පුද්ගලයින්ගේ සහ වාහන නොමැති පුද්ගලයින්ගේ දත්ත සොරාගෙන මෙලෙස ව්‍යාජ QR කේත නිපදවා ඇති බව අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව සිදුකරන මෙම පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ව්‍යාජ වෙබ් අඩවි හරහා ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස්කර මෙම ජාවාරම මෙහෙයවන බවයි. ව්‍යාජ QR කේත භාවිත කරමින් ඉන්ධන ලබාගන්නා පුද්ගලයින් මෙන්ම ඒවා සකස් කරන පුද්ගලයින් ද හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබේ. පාරිභෝගිකයින්ට දන්වා සිටින්නේ තමන්ගේ QR කේතය හෝ ජාතික හැඳුනුම්පත් අංකය කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදෙන ලෙසත්, ඉන්ධන ලබාගැනීමේදී නිල පද්ධතිය පමණක් භාවිත කරන ලෙසත්ය.














