රුපියල් එක් කෝටි අසූ ලක්ෂ තිස් දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතික රියැදුරන් තිදෙනෙකු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් පැමිණි මොවුන්ගේ ගමන් මලු තුළ අතිශය සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුම්වැටි කාටූන් 601ක් රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. එහි අඩංගු මුළු දුම්වැටි සංඛ්‍යාව 120,200කි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වූ රේගු නිලධාරීන් අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගත් අතර, අත්අඩංගුවට පත් වූ එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වූ රුපියල් ලක්ෂ 09ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ. මෑත කාලීනව මෙරටට නීතිවිරෝධී ලෙස දුම්වැටි සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් ගුවන් තොටුපොළ රේගු පරීක්ෂාවන් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.














