බ්‍රිතාන්‍යයේ බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලාංකික වැරදිකරුවන්, ඔවුන්ට නියම වූ දඬුවම් කාලය මෙරට බන්ධනාගාර තුළ ගෙවා දැමීම සඳහා පිටුවහල් කිරීමට එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් “රැඳවියන් හුවමාරු කිරීමේ ගිවිසුම” (Prisoner Transfer Agreement – PTA) යටතේ පියවර ගෙන තිබේ. බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍ය ජේක් රිචඩ්ස් මහතා එරට පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ, බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති විදේශීය වැරදිකරුවන් ඔවුන්ගේ මව් රටවල් වෙත යැවීම රජයේ දිගුකාලීන ප්‍රතිපත්තියක් බවයි.
මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 40කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ඉන්දියාව, පකිස්ථානය සහ ඇමෙරිකාව ද එම ලැයිස්තුවට ඇතුළත් වේ. මෙහිදී බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් ලබා දුන් දඬුවම එලෙසම මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතර, දඬුවම් කාලය සංශෝධනය කළ හැක්කේ එම දඬුවම මෙරට නීතියට අනුව උපරිම සීමාව ඉක්මවා යන අවස්ථාවකදී පමණි. ඕනෑම රැඳවියෙකු මෙරටට එවීමට පෙර, ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කරන ආකාරය සහ නිදහස් කිරීමේ ක්‍රමවේද පිළිබඳව බ්‍රිතාන්‍ය බලධාරීන් ශ්‍රී ලංකාවෙන් දැඩි සහතිකයක් ලබා ගන්නා බව ද එහිදී අවධාරණය කෙරිණි.














