බංග්ලාදේශයේ රාජ්බාරි (Rajbari) දිස්ත්‍රික්කයේ පාරු තොටුපළක් (Ferry terminal) අසලදී ඊයේ (2026 මාර්තු 25) සවස සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මගීන් 50කට අධික පිරිසක් රැගත් බස් රථයක් පාරුවක් මතට ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී රියදුරුට පාලනය කර ගත නොහැකිව පද්මා ගඟට පෙරළීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුර ඊයේ සවස 5:15 ට පමණ දවුලදියා (Dauladia) පර්යන්තයේදී සිදුව ඇති අතර මියගිය පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු, කුඩා ළමුන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සිටින බව තහවුරු වී තිබේ. මියගිය පිරිසෙන් 22 දෙනෙකුගේ සිරුරු මේ වන විටත් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දී ඇති අතර එක් සිරුරක අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද අතුරුදන් වූවන් සෙවීම සඳහා සහ බස් රථය ගොඩගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි. ‘හම්සා’ (Hamza) නමැති සහන සේවා නෞකාව සහ දැවැන්ත ක්‍රේන් යන්ත්‍ර භාවිතා කරමින් පැය හයක දැඩි උත්සාහයකින් පසුව රාත්‍රී 11:15 ට පමණ බස් රථය ගොඩගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් විය. මෙම අනතුරෙන් තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට සැක කරන අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.














