ශ්‍රී ලංකාවේ වත්මන් රෝහල් පද්ධතිය තුළ ඇඳන් 85,000ක් පමණ පැවතියද, ශීඝ්‍රයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහනය සහ විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හමුවේ ඉදිරියේදී දැඩි ඇඳන් හිඟයක් ඇතිවිය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ 2024 වසර වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 18%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2040 වන විට 25%ක් දක්වා වර්ධනය වනු ඇති බවයි.
මේ වන විට හෘද සැත්කම් සඳහා රෝගීන් 10,000ක් ද, වකුගඩු ආශ්‍රිත සැත්කම් සහ රුධිර කාන්දුකරණය (Dialysis) සඳහා තවත් 10,000ක් ද, පිළිකා ප්‍රතිකාර සඳහා රෝගීන් 40,000ක් ද පොරොත්තු ලේඛනවල පසුවන බව වෛද්‍යවරයා අනාවරණය කළේය. විශේෂයෙන්ම දිවයින පුරා පවතින්නේ දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් 1,000ක් වැනි සුළු ප්‍රමාණයක් බැවින්, බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට නියමිත වේලාවට ප්‍රතිකාර ලබා දීම අතිශය දුෂ්කර වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා අනාගත ඇඳන් අවශ්‍යතාවය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර නොමැති බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.














