පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සියලුම මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබුණද, අද (මාර්තු 27) උදෑසන ද විශාල පිරිසක් සේවා ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියලුම කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව බලධාරීන් ඊයේ (26) නිවේදනය කර තිබුණි. කෙසේ වෙතත්, තොරතුරු නිසි පරිදි නොලැබීම සහ හදිසි අවශ්‍යතා හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.
පැමිණ සිටි පිරිස් අතර පසුගිය අඟහරුවාදා සිට සිය කටයුතු කර ගැනීමට නොහැකි වූ පුද්ගලයන් මෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හැඳුනුම්පත් අහිමි වූ පාසල් සිසුන් ද විශාල පිරිසක් සිටිති. ලබන සඳුදා පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරග සඳහා සහභාගී වීමට හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින් එම සිසුන් සහ දෙමාපියන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව වාර්තා වේ.
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර, සේවා නැවත ආරම්භ කරන දිනය පිළිබඳව මාධ්‍ය මගින් දැනුවත් කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. එතෙක් කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.















