ළමයින් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වර්ග ප්‍රචාරණය කිරීම තහනම් කිරීමට නෝර්වේ රාජ්‍යය ගත් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දැඩි ඇගයීමට ලක්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් මහතා ප්‍රකාශ කළේ, අධික බර සහ තරබාරුකම අවම කිරීමටත්, හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි බරපතල රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීමටත් නෝර්වේ රාජ්‍යය ගත් මෙම පියවර සෙසු රටවලට ද කදිම ආදර්ශයක් බවයි.
නෝර්වේ රාජ්‍යයේ පාසල් යන වයසේ පසුවන දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු (20% කට වඩා වැඩි ප්‍රමාණයක්) අධික බර හෝ තරබාරුකමින් පෙළෙන බව වාර්තා වේ. 2025 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම නව නීති මගින් වයස අවුරුදු 18 ට අඩු දරුවන් ඉලක්ක කරගත් සාම්ප්‍රදායික සහ ඩිජිටල් වෙළඳ දැන්වීම්, අනුග්‍රාහකත්වයන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණ කටයුතු තහනම් කර ඇත. විශේෂයෙන්ම චොකලට්, රසකැවිලි, කේක් වර්ග සහ පැණිබීම වර්ග කිසිදු අයුරකින් දරුවන්ට ප්‍රචාරණය කිරීම මෙහිදී සම්පූර්ණයෙන්ම තහනම් වේ.
යුෂ වර්ග, උදේ ආහාර සඳහා ගන්නා සීරියල් (Cereals) සහ යෝගට් වැනි නිෂ්පාදන ප්‍රචාරණය කිරීමේදී ඒවායේ අඩංගු සීනි, ලුණු සහ මේදය පිළිබඳව දැඩි ප්‍රමිතීන් පනවා ඇති අතර, එම සීමාවන් ඉක්මවන නිෂ්පාදන ප්‍රචාරණය කිරීම ද තහනම් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් හෙන්රි පී. ක්ලූජ් මහතා පෙන්වා දෙන්නේ මෙය හුදෙක් පුද්ගලික තේරීමක් පිළිබඳ ගැටලුවක් නොවන බවත්, දරුවන් වැඩෙන වටපිටාව සෞඛ්‍ය සම්පන්න ලෙස සකස් කිරීම රජයක වගකීමක් බවත්ය. නෝර්වේ රාජ්‍යයේ මෙම නිර්භීත තීරණය ලොව පුරා සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














